Friday 24th of April 2026

English Tamil
Advertiesment


සුනාමියට වසර 13 යි.


2017-12-25 14874

(ජයකාන්ත ලියනගේ)

සුනාමි ව්‍යසනයට 2004 දෙසැම්බර් 26 වන දින වසර 13 ක් සපිරේ. එයට මුහුණදුන් කීප දෙනෙකුගේ අත් දැකීම් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 දිනය, ඉරිදා දිනයක් මෙන්ම උදුවප් මස පුරපසලොස්වක පොහොය දිනයද විය. එය නත්තල් දිනට පසු දිනයද විය. නත්තල් දිනට පසු දිනය ලෝකය හදුන්වන්නේ බොක්සිං ඬේ යනුවෙනි. එහි තේරුම සැහැල්ලූවෙන්, සතුටින්, විනෝදයෙන්, සැනසිල්ලේන් ගතකරන දිනය යන්නයි. 2004 බොක්සිං ඬේ දිනය, ඉරිදා මෙන්ම පුරපසලොස්වක පොහෝ දිනයද වූ නිසාවෙන් නිවසේ විවේකයෙන් සිටි අය වෙනත් වසර වල බොක්සිං ඬේ දිනයන්ට වඩා බොහෝ සෙයින් වැඩිය.

ගංවතුර, සුලිසුලං, න්‍යායයෑම්, ශ‍්‍රී ලංකිකයින්ට හුරු පුරුදුය. නමුත් සුනාමී යන්න අප අසා තිබුණේ නැත. ඒ නිසාම වෙරළබඩ ජනතාව අතර පැතිර ගියේ මුහුද ගොඩගලනවා යන්නයි. පළමු මුහුද ගොඩගැලීම සිදුවූයේ 26 දා පෙ.ව 8.27 ටය. මහා විනාශයක් කරන ලද මුහුදු රළ වෙරළට කඩා වැදුනේ 9.30 ට පමණය. මෙයින් සිදුවූ ව්‍යසනය සුළුපටු නොවේ. දසදහස් ගණනකගේ දේපල හා ජීවිත විනාශ වන්නට ගතවූයේ නිමේෂයක් පමණි. දරුවන්ට දෙමාපියන්ද, දෙමාපියන්ට දරුවන්ද, ස්වාමියන්ට බිරින්දෑවරුන්ද, බිරින්දෑවරුන්ට ස්වාමියන්ද, බොහෝ අයට සිය ඥාතී හිත මිත‍්‍රාදීන්ද අහිමි විය. වසර ගණනාවක් තිස්සේ දුක් මහන්සියෙන් උපයාගත් දේපල සියල්ල සුණු විසුණු වී ඇදිවත පමණක් ඉතිරිවිය.

සුනාමියක් වැලැක්වීමට හෝ නිවැරදිව අනාවැකි පලකිරිමටද නොහැකිය. නමුත් සුනාමියක් සිදුවීම ආරම්භ වීමට ආසන්න වනවිට ඒ සම්බන්ධයෙන් අනතුරු සංඥා බොහොමයක් ඇති වේ. මුහුද පසුපසට ගමන් කිරිමද එවන් තත්ත්වයකි. 2004 සුනාමියේදී යාල වනෝද්‍යානයේ සිටි අලිඇතුන් සුනාමී එන ශබ්දය ඇසී ශබ්දයෙන් ඉවතට ගොස් ඇත. තලගොයි වැනි සතුන් විශාල ගස් මුදුන් වලට නැග තිබේ. නමුත් මිනිසුන් වෙරළ නැරඹීමට ගොස් ජීවිතක්ෂයට පත්විය.

2004 සුනාමියෙන් රටවල් 11 කට හානි සිදුව තිබේ. මෙය රිට්ටර් මාර්පකයේ 9.3 ක් ලෙසින් සටහන් විය. මෙයින් වැඩිම ජීවිතහානී සිදුවූයේ ඉන්දුනීසියාවටය. දෙවැනි වැඩිම විනාශය සිදුවූයේ ශ‍්‍රී ලංකාවටය. ලංකාවේ මිනිසුන් 30,957 ක් මියගිය අතර 4698 ක් අතුරුදන් විය. සුනාමියෙන් විපතට පත් අයට සහන සැලසුවේද ඉතා මන්දගාමීය. බළපිටියේ පමණක් විනාශ වූ නිවාස සංඛ්‍යාව 717 කි. සුනාමියට වසරක් පිරෙද්දී එයින් ඉඳිවෙමින් තිබුණේ නිවාස 123 ක් පමණි. මේ වන විට නිවාස සියල්ල ඉඳිකර විපතට පත්වූවන්ට ලබාදී ඇතත් සියළු නිවාස මේ වනවිට අබලන් වී ඇත. සියල්ල ඉතා බාල තත්ත්වයේ ඒවාය. බොහෝ නිවාස වල වහලට යොදා තිබුණේ අමු ගොබඩ පරාලය. සිමෙන්ති ගල් වැලි වැඩියෙන් දමා තැනූ ඒවාය. සුනාමියෙන් විපතට පත්වූවන් මේ වන විට කබලෙන් ලිපට වැටුණු අය වැනිය.

ලියුම්කරුගේ පුතු 2005 පෙර පැසැලට ඇතුලත් කිරිමට සම්මුඛ පරීක්ෂණය යෙදී තිබුණේ 2014 දෙසැම්බර් 26 දාය. පෙර පැසැල අහුන්ගල්ල, වතුරේගම ප‍්‍රදේශයේ පිහිටා තිබුණේ තරමක් මුහුදට ආසන්නයේය. පෙ.ව 9.00 ට පමණ ලියුම්කරු සියපුතුද රැුගෙන පාපැදියෙන් පෙරපාසැලට පැමිණෙන විට පළමු සුනාමී රළ පැමිණ ගොස් තිබුණි. එම ස්ථානයේ සිටි පිරිස ප‍්‍රකාශ කළේ ‘‘මුහුද ගොඩ ගලනවා. කට්ටිය බලන්න ගියා’’ කියාය. සම්මුඛ පරික්ෂණය නවතා පෙරපාසැල අයත් සංචාරක හෝටලයට සිදුවූයේ කුමක්ද යන්න බලන්න එහි සිටිඅය ගොස් තිබුණි. එසේ කිව් අය සිතා සිටියේත් ලියුම්කරු සිතුවේත් මුහුදු ගොඩගැලීම අහුන්ගල්ල, වතුරේගම ප‍්‍රදේශයේ පමණක් සිදුවන්නක් කියාය. ලියුම්කරු ක්ෂණිකව නිවසට ගොස් පුතු නිවසේ තබා කැමරාවද රැුගෙන වතුරේගම ඔරු වැල්ලට ගියේ එහිඇති මාදැල් ඔරු බෝට්ටු වලට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බලන්නටය.

ඒ යන විට මුහුද පස්සට ගොස්ය. ධීවරයෝ ඔරු බෝට්ටු කඹ මගින් පොල්ගස් වලට ගැටගසමින් සිටියහ. මුහුදු පතුල නිරාවරණය වී තිබුණි. කවදාවත් නොදුටු මුහුදු පතුලේ දැවැන්ත ගල් මතුවී තිබුණි. මත්සයෝ විශාල වශයෙන් නිරාවරණය වූ මුහුදේ දගලමින් සිටියහ. එය චමත්කාර ජනක දසුනක් විය. ලියුම්කරුද පස්සටගිය මුහුදේ ඡුායාරූප කීපයක් ගත්තේය. වර්තමානයේ මෙන් ඩිජිටල් කැමරා නොවීය. දලසේයාපට දමන කැමරා බැවින් ඡුායාරූප කීපයක් පමණක් ගත්තා මතකය. ‘‘දුවපියව්’’ යනුවෙන් ධීවරයින්ගේ කෑගැසීමත් සමග ලියුම්කරුද මුහුදේ ඈත දියඹ දෙස බැලීය. මහ විශාල කළු පාට දියකඳක් අඞ් 20 ක් 30 ක් උසට වෙරළ දෙසට පැමිණෙමින් තිබෙන අයුරු දුටුවෙමි. ලියුම්කරුද පාපැදිය රැුගෙන පිටත්වූයේ පණිවුඩය නිවසේ අයට දැනුම් දෙන්නටය. වතුරේගම, අම්පේ මාර්ගය දිගේ පැමිණෙන විට පාරදිගේ පෙරහැරක් මෙන් ජනතාව දුවන්නට විය. ඇතැමුන් මරලතෝනි දෙන්නටද විය. ඇතැම් අය අතේ කුඩා බෑගයක් ඇරෙන්නට වෙනත් කිසිවක් නොවීය. උපයාගත් සේසත නිවසේ දමා ඇදිවත පිටින් දිවිබේරාගන්නට ඔවුන් දිවයමින් සිටියහ. ලියුම්කරු නිවසට පැමිණෙන විට බිරිය, දරුවා ඇතුළු අයද නිවෙස් අතහැර දිවගොසිනි.

ලියුම්කරුද බිරිය හා දරුවා සොයා අහුන්ගල්ල, ඌරගහ මාර්ගය ඔස්සේ පාපැදියෙන් ගිය අතර එම මාර්ගයේ කිසිඳා නොදුටු මහා ජනගගක් දිවයනු දුටුවෙමි. එදා එම මාර්ගයේදී මා මිත‍්‍ර මාධ්‍යවේදී අනුර සයමිත්ද හමු විය. ඒ වන විට බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති එච් ඒ එන් ද සිල්වා මහතාත් බළපිටිය රේවත ජාතික පාසැලේ නියෝජ්‍ය විදුහල්පති උපාලි දොඩන්ගොඩත් දුවමින් සිටියේ සිය බිරින්දෑවරුන් හා දරුවන් සොයමින්ය. ඔවුන් ලියුම්කරුගේ මිතුරන්ය. ඔවුන් දෙදෙනා ඇතුළු ඌරගහ මාර්ගයේදී හමු වූ සිව් (04)දෙනෙකුගේ අත් දැකීම් පහතින් දැක්වේ.

හිටපු විදුහල්පති එව් ඒ එන් ද සිල්වා මහතා. (64)

මම ඒ වන විට බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළා. නිවස තිබුණේ අහුන්ගල්ල, තොටවත්තේ. මුහුදේ සිට නිවසට මීටර් 100 ක් විතර තිබුණේ. එදා මම ගෙදර හිටියේ. ඥාති දියණියක් ඇවිත් මුහුද ගොඩගලනවා කියල කිවිවා. මම ඒක විශ්වාස කළේ නැහැ. ඒ වුණත් එලියට බැහැල බලන විට ගෙවල් කීපයක්ම මුහුදු ජලයෙන් යටවෙලා තිබුණා. මම ඒ ගෙවල් වලට ගිහින් බඩුමුට්ටු අස්කරන්න උදව් කළා. අපේ ගේ ලගටම වතුර ඇවිත් තිබුණා. ඒ වෙලාවේ මුහුද ගොඩාක් පස්සට ගිහින් තිබුණේ. මම ගෙදරට ඇවිත් ටික වේලාවක් යන විට ‘‘ඔන්න මුහුදු රළ එනවෝ’’ කියල කෑගැහිල්ලක් ඇහුණා. පුදුම විදියට එක පාරටම වතුර පිරෙන්න පටන් ගත්තා. අපි ගාලූපාර දෙසට දිව්වා. අතර මගදී අඩි 04 ක් පමණ උසට ජලයට හසුවුණා. ගාලූපාර ආසන්නයටම වතුර ආවා.

වතුර අඩුවුණාට පස්සේ මම ටිකෙන්ටික ගෙදර පැත්තට ආවා. ඒ යද්දී මග දෙපස තාප්ප කඩන් වැටිල බඩුමුට්ටු පාවෙමින් ඇවිත් තිබුණා. අපේ ගේ තිබුණු තැනවත් සොයාගන්න බැරිවුණා. අත්තිවාරම විතරයි ඉතිරිවෙලා තිබුණේ. බිරිඳ දරුවන් පවුලේ අය සමග ඌරගහ මිත‍්‍රයෙකුගේ ගෙදර නැවතුණා. පසුවදා අනෙක් අය නෝනලාගේ ගෙදර යැව්වා. යාලූවෙකුගේ බයිසිකලයක් ඉල්ලන් බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ගියා. මම යන විට පාසැල අඩි 10 ක් විතර ජලයෙන් යටවී තිබූ සටහන් දැක ගත්තා. ගොඩනැගිලි වල තිබූ දේවල් ජලයෙන් යටවෙලා තිබුණා. ලිපිලේඛණ වලට හානිවෙලා තිබුණා. දොර ජනෙල් කැඞී ගොස් තිබුණා. පාසැල අවට කිසිකෙනෙක් හිටියේ නැහැ. පුළුවන් තරම් දේවල් ආරක්ෂා කරගන්න කටයුතු කළා. ලිපිලේඛණ තනිවම උඩුමහලට ගෙනහින් දැම්මා. ගෙදර දොරේ බලන්න මොකුත් තිබුණේ නැතිනිසා පාසැල ආරක්ෂාකර ගන්න කටයුතු කළා. ඇදිවත විතරයි ඉතිරි වුණේ. ඉන්න හිටින්න තැනක් නැති වුණාම අනාථභාවය දැනුණා. යාළුවෝ උදව් කළා.

බළපිටිය රේවත ජාතික පාසැලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, නීතීඥ උපාලි දොඩන්ගොඩ මහතා. (55)

එදා නිවාඩු දවසක් නිසා ගෙදරයි හිටියේ. මුහුදේ ඉදන් මීටර් 150 ක් විතරයි ගෙදරට තිබෙන්නේ. මුහුද ගොඩගලනව කියල කට්ටිය කෑගහන විට මමත් ඒ ගැන සොයා බලන්න මුහුද පැත්තට ගියා. රත්තරන්ගෙවත්ත සොහොන ලගින් මුහුදට ගොස් පළමු රැුල්ල ඇවිත් ගියහැටි බැලූවා. මුහුද පස්සට ගිහින් තිබුණා. කිසිදා නොදැකපු ගල් මතුවෙලා තිබුණා. බළපිටිය සුගතසාසනෝදය පරිවේණාධිපති විමලජීව හාමුදුරුවොත් මුහුද බලන්න ඇවිත් හිටියා. මම ගෙදර ඇවිත් ඉන්න විට ආයෙත් පිරිස මුහුද ගොඩගලනවා කියල කෑගහනවා ඇහුණා. මම මෝටර් බයික් එක තල්ලූ කරන් එද්දී වතුර පාරට හසුවුණා. මම ගෙදරක ජනේලයක එල්ලිලා තමයි ජීවිතය බේරා ගත්තේ.

පස්සේ මම පුතා හා ගෙදර අය සොයමින් ගල්වෙහෙර පැත්තට දියගියා. ගල්වෙහෙර චන්දන නැමැති යාළුවෙකුගේ ගෙදර ගියවිට ඒ අයත් සමග ගෙදර අය ගිහින් තිබුණා. එතන වැලේ තිබුණ බොටම් කලිසමක් ඇඳගෙන ජනේලයකින් අතදමල ටී ෂර්ට් එකක් අරන් ඇඳගෙන ගෙදර අය හොයන්න ගියා. පුතා පතිරාජගම ගෙදරක ඉදල සොයා ගත්තා. බිරිය ඌරගහ පන්සලක ඉදල සොයා ගත්තා. තුන්පාරක් ඌරගහ ඉදල එහාට මෙහාට පයින් ආව ගියා. තාත්තා මුහුද බලන්න ගිය වෙලාවේ රළ පහරට හසුවෙලා මියගිය බව පසුව දැන ගත්තා. නංගිත් පුතා බලන්න ගිය වෙලාවේ වතුරට හසුවෙලා මියගොස් තිබුණා. ඊට පසුවදා නංගිගේ සිරුර හමුවුණා. තාත්තාගේ සිරුර හමුවුණේ දින දෙකකට පස්සෙයි. ගෙදර වතුරෙන් යටවෙලා විනාශ වුණා. නිවසට අර්ධ හානී රුපියල් 50,000/- ක් ලැබුණා. මියගිය දෙන්නට 15,000/- බැගින් 30,000/- ක් ලැබුණා. අපේ විනාශය තක්සෙරු කළේ රුපියල් 80,000/- ටයි.

අහුන්ගල්ල, තොටවත්තේ පදිංචි මාලාශාන්තී මහත්මිය (51)

එදා පෝය දවසේ, කද්දේවිහාරයට බාරයක් ඔප්පු කරන්න යන්න බුද්ධ පූජාව උයමින් හිටියේ. මල්ලි රට ඉදල ආපු නිසයි බාරය ඔප්පු කරන්න යන්න හිටියේ. උදේ 9.15 ට විතර මුහුද එනවා, අපි යනවා කියල කට්ටියක් යන්න ගියා. මගේ මහත්තයා මුහුද ගොඩගලනවා බලන්න ගිහින් හිටියා. මම දරුවෝ දෙන්නත් එක්ක ගෙදර හිටියේ. අපේ ඥාතී බර්ටිගේ රෙස්ටුරන්ටි එක තියෙන්නේ වැල්ලඅයිනේ්. මුල් රළ පහරට ඒකේ යට තට්ටුව යටවෙලා. දුවල දෙන්නා උඩ තටුටුවේ ඉදල තිබෙන්නේ. අපේ මහත්තයල කඹ දමලයි දරුවෝ දෙන්න අරන් තිබෙන්නේ.

ගෙදර ඉන්න විට ආයේ රැුල්ල එනවා කියල පිරිස කෑගහගෙන ආවා. ඉස්සරහ ගෙදර ඉන්න හෙට්ටිආරච්චි කිව්වා මුහුද පැත්තට යන්නේ නැතුව දරු දෙන්නත් එක්ක පාර පැත්තට යන්න කියල. ඒ කියන විට ඉස්සරහා දොර වහන්නත් කලින් විශාල වතුර පහරක් ආවා. මම දරුවෝ දෙන්නත් අරන් වලේකෝවිල පන්සලට දුවල ගියා.

අහුන්ගල්ල, වතුරේගම පදිංචි එව් හේමමාලි ද සොයිසා මහත්මිය (45)

දෙසැම්බර් 26 පෝය දවසේ අපේ ගෙදර හත් දවසේ දානයක් තිබුණා. මගේ මහත්තයගේ මාමා කෙනෙක් මැරිල ඒකට දානය උයමින් හිටියේ. දානයට හාමුදුරුවරු වඩම්මාගෙන එන්න ගිය තාත්තා ආපසු ඇවිත් කිව්වා මුහුද ගොඩගලනව කියල. පන්සල්වත්ත සම්පූර්ණයෙන්ම යටවෙලා තිබුණා. ඊටපස්සේ වතුවලටත් වතුර දැම්මා. ඒ වතුරත් එක්ක ආපු මාළු අපි ඇල්ලූවා. පැය භාගයකින් පමණ පස්සේ ආයෙත් කළු වතුර පාරක් ආවා. මම ළමයි දෙන්නත් අරන් දිව්වා. වැඩිදුරක් දුවන්න බැරි වුණා. ගාලූපාරේ ගොඩ පැත්තේ තිබූ තට්ටු ගොඩනැගිල්ලේ උඩතට්ටුවට නැග්ගා. උඩ තට්ටුවේ සිට ජනේලයකින් බලන විට ගාලූපාරේ ගිය මිනිස්සු, වාහන ගසාගෙන යනවා දැක්කා. ගෙවල්වල බඩුමුට්ටු අල්මාරි පාරට ගසාගෙන ආවා. පුදුම බයක් දැනුනා. විනාඩි 15 ක් යන විට වතුර බැහැල ගියා. අපේ කිසිදෙක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. මගේ අයියා බිත්තර බිස්නස් කරන්නේ. ඒ වෙලාවේ ගෙනැත් තිබූ බිත්තර ලොරිය හතු පිපිල වගේ පාරපුරා විසිරිලා තිබුණා. ඊටපස්සේ අපි දරුවෝ දෙන්නත් අරන් අම්පාරට ගියා. ටික දවසක් යනතුරු දරුවෝ දෙන්නා බයවෙලා කතානොකර හිටියා. මාසයකට විතර පස්සෙයි ගෙදර ආවේ.

Advertiesment